Wednesday, October 24, 2018

සුන්දර බටතොට ලෙන් විහාරය හෙවත් දිවා ගුහා රජමහ විහාරය බලා ගිය ගමන



බුදු රජාණන් වහන්සේගේ කැලණියට වැඩම කල දෙවන ලංකා ගමනේදී  සමනල කන්දටද වැඩම කර ශ්‍රීපාද ලාංජනය පිහිටවූ බව ඉතිහාසයෙහි සඳහන් වේ. මෙම ගමනේදී පන්සියයක් රහතුන් වහන්සේලා සමග  දිවා විවරහණය කල ස්ථානය දිවා ගුහාව නමින් හැඳින්වේ.

දිවා ගුහාව පිළිබඳව විවිධ මතිමතාන්තර  පවතින අතර සමහරකු මෙය ශ්‍රීපාද කඳු බෑවුමෙහි පිහිටා ඇති ගල් ලෙනක් යයි විශ්වාස කරති.  සමහරු මෙය කුරුවිට එරත්න මාර්ගයෙහි පිහිටා ඇති බටතොට ලෙන යයි විශ්වාස කරති. කොළඹ සිට රත්නපුර දෙසට ප්‍රධාන  මාර්ගයේ කිලෝමීටර් 87ක් ආවිට කුරුවිට නගරය හමුවේ.කුරුවිට නගරයෙන් වමට හැරී එරත්න මාර්ගය දිගේ කිලෝමීටර් 7ක් ගිය විට වම් පසින් බටතොට ලෙන පිහිටි කඳු වැටිය හමුවේ. මෙය ශ්‍රීපාද කඳුවැටිය පාමුල පිහිටි සමක වැසි වනාන්තර කලාපයට අයත් වන ගහනයෙන් ගැවසී ඇත.  එරත්න මාර්ගයේ සිට කිලෝමීටර් කාලක් පමණ පා ගමනින් ගොස් පඩි සිය ගණනකින් සමන්විත ශිග්‍ර  කඳු බෑවුමක් නැග බටතොට ලෙන් විහාරය වෙත ලඟා විය යුතුය.


මෙය තරමක් දුෂ්කර ගමනකි.මෑතකදී දානපතියන්ගේ  උපකාරය නිසා පඩිපෙළ  පුළුල් කර සකස් කර ඇති අතර පාමුල සිට විහාරය දක්වාම පඩිපෙළ , වහලකින් ආවරණය කර ඇත. කුරුවිට , නිතර වැසි පවතින ප්‍රදේශයක් බැවින් මෙය වන්දනා කරුවන්ට ඉතාමත් පහසුවකි.


කඳු මුදුනෙහි පන්සියයක පමණ පිරිසකට සිටිය හැකි ගල් ලෙනක් සහිත විහාර ගෙයක් සහ සමතලා බිමක් පවතී.ගල් ලෙනෙහි දොරකඩ පිහිටා ඇති ගලින් නිර්මාණය වී ඇති පොකුණ පුදුම සහගතය.ඉහළ  ඇති ගල් පියස්සේ සිට මෙම පොකුණට නිරතුරුවම දිය බිඳු  පතිත වේ. ගල් ලෙන තුල විශාල 18 රියන් සැතපෙන බුදුරුවකි. මෙම බුදුපිලිමයෙහි විශේෂත්වය නම් ප්‍රදේශයෙහි ඇති අනිකුත් බුදු පිළිම ශ්‍රිපාදය දෙසට සිරස පිහිටුවා නිම  කර ඇති අතර , මෙම බුදුරුවෙහි දෙපා ඒ දෙසට යොමු කර නිර්මාණය කර තිබීමයි.
බුදුන් වහන්සේ සැතපී ශ්‍රීපාද මුදුන දෙස බලා සිටින ආකරයක් මෙයින් නිර්මාණ වන්නේයැයි ඉතිහාසඥයින් පවසයි. තවත් බුදුපිළිම සහ රහතුන් වහන්සේලාගේ පිළිම ගල් ලෙන තුළ  අඹා  ඇත.මෙම පිළිම වහන්සේ නිමකරවා ඇත්තේ මැටි විශේෂයකිනි.



දිවා කාලයේදී ඉතා හොදින් හිරු එලිය ලෙන තුලට ගලා ඒම නිසාත් , රාත්‍රී කාලයට සඳ එලිය පතිත වීම නිසාත් නිරතුරුවම ආලෝකය පවතී.මෙම ලෙන දිගින් අඩි 150ක් ද පළලින් අඩි  67 ක් ද , උසින් අඩි 50ක්ද පමණ වේ.

මේ ලෙන අසල වසර 30000 කට පෙර මිනිසුන් ජිවත් වූ ස්ත්‍රිපුර , දහයියා ලෙන වැනි ගල් ලෙන් පිහිටා ඇත.
තවද මේ පිළිබඳව ගවේෂණය කළ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය පි ඊ පි දැරණියගල සහ ශිරාන් දැරණියගල යන මහත්වරුන් විසින් මෙම මිනිස් ජනාවාස පිළිබඳව තොරතුරු අනාවරණය කර ඇත.  මහා රාවණා  රජු, සුමන සමන් දෙවියන් , මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා , වළගම්බා රජු, නිශ්ශන්කමල්ල රජු හා පළමුවැනි රාජසිංහ රජු සම්බන්ධ ව පුරාවෘත පවතී.

වර්ෂ 1178 - 1207 දක්වා ලංකාවේ රජ කල නිශ්ශංක මල්ල රජ ශ්‍රීපාදය සොයා සමන්ත කූට පර්වතයට යන ගමනේදී මෙම ගල්ලෙනෙහි දින කිහිපයක් ගත කල බවට ජනප්‍රවාද පවතී.එහිදී මෙම ස්ථානයේ විහාර කර්මාන්තයක් කිරීමට සිතු රජතුමා ඒ සඳහා තම ඥාතිවරයකු ඇතුළු පිරිසක් පිටත් කර යැවීය.විහාර කර්මාන්තය සිදුකරන කාලය ඇතුලත එම රාජකීයයා කේලම් බසක් නිසා ප්‍රදේශයෙහි විසු රත්නමාලි නම් රජ කුමරියක් වධ හිංසා පමුණුවා මරා දමා ඇත.ඇය  අන්තක්පුරයේ  කුමාරිකාවක් බවට ද මතයක් පවතී.

මෙම සිදුවීමෙන් කෝපයට පත් කුමරිය "ඛන්ටමාරි" නම් යක්ෂනියක්ව ඉපිද මෙම ලෙනට අරක් ගෙන පැමිණෙන ගිහි පැවිදි සියලු දෙනා ගොදුරු කරගනිමින් ,වසර 712ක් පුරාවට  වාසය කර ඇත.
මෙම ස්ථානයට පැමිණි සමහර බැතිමතුන්ගේ ශරීර වලට ආවේශ වුන අතර , ඔවුන් මේ පිලිබඳව  ප්‍රකාශ කර ඇත.මෙලෙස හිමිනමක්ද, ප්‍රදේශයෙහි තරුණියක්ද  පෙර භවයේ සිදුවීම් හෙළිකර ඇත. මෙම ආත්මයෙන් මිදීමට නම් ලෙනට අඩි  40ක සිමාව තුල තමාට වාසය කිරීමට වාසස්ථානයක් ඉදිකර දෙන ලෙසත් , පින්කමක් කර පින්  අනුමෝදනා කරන ලෙසත් ඉන්පසු තමා දේවතවියක්ව ඉපිද වන්දනාකරුවන් ආරක්ෂා කරන බවත් භූතාත්මය පවසා ඇත.


වසර සිය ගණනක් බටතොට පුරාණ  ගල් විහාරය දිව ගුහාව ලෙස සලකමින් ජනයාගේ පුද පුජාවට ලක්විය.
1995 වසරේදී මෙම විහාරයට වැඩම කල අතිපුජ්‍ය අග්‍ර මහා පණ්ඩිත බළන්ගොඩ  ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් වහන්සේ මෙම ස්ථානය පරික්ෂා කර දිවා ගුහාව හෙවත් භගවා ලෙන විය  හැකි යැයි  ප්‍රකාශ කළහ. 












   උන්වහන්සේගේ අදහස් පරිදි ධාතු නිදන් කරවා ලෙන තුළ  "පලිඟු මිණි  සෑය"  නමින් චෛත්‍යයක් සාදා ඇත්තේද භුතාත්මයට  පින් පමුණුවාලීමටය. මීට අමතරව කතරගම කිරිවෙහෙරට බාරයක් වී අටපිරිකර 100ක් පුජා කර භික්ෂුන් වහන්සේලා සියගණනක් වැඩමවා දානයක් පිරි නමා ඇත. ඒ සමගම මෙම ස්ථානයට භික්ෂුන් වහන්සේලා සියනමක්  වඩමවා  රතන සුත්‍රය දේශනා කර ඇත.

රතන සුත්‍රය දේශනා කරන අතරතුර භූතාත්මය එතන සිටි එක් තරුණියකට ආවේශව  ඇති අතර තරුණිය පවසා ඇත්තේ තමා තව දුරටත් යක්ෂණියක් නොවන බවත් කල පින්කම් නිසා දේවතාවියක් බවට පත් ව ඇති බවත් , නුග රුකක් සිටවා තමාට සිටීමට ස්ථානයක් සකසා දෙන ලෙසත්ය.තමා බැතිමතුන්ට ආරක්ෂාව සපයන බවටත් පොරොන්දු වී ඇත.

1999 වසරේදී එම සිමාව තුල කිරි නුග පැළයක්  සිටුවා දසසිල් මාතාවන් පිරිසකට ඔවුන් සමගින් පෙරහරකින් ගොස් භුතත්මයට පින් පමුණුවා අටපිරිකරක් සැතපෙන බුදු පිළිම වහන්සේට පුජා කර ඇත.

මෙම අටපිරිකර අද පවා බුදුපිළිමය පාමුල දැකිය හැක.
මේ සමගම ආදිවාසි ජනතාව කැඳවා කිරිකොරහ ශාන්තිකර්මයද පවත්වා ඇත.

මෙම ලෙන් විහාරය පිළිබඳව පුජ්‍යපාද කිරිඇල්ලේ මාහිමිපාණන් විසින් රචිත " සබරගමු දර්ශනය නමැති කෘතියේද මත ඉදිරිපත් කර ඇත.

ගල් ලෙනට දකුණු පසින් සුමන සමාන දෙවිඳුන්ගේ සහ විෂ්ණු දෙවියන්ගේ කුඩා දේවාල දෙකක් පිහිටුවා ඇත.දිය පිරුණු ගල් පොකුනෙහි විශාල ගෙම්බෙකුගේ  පිළිරුවක් නිර්මාණය කර ඇති අතර මෙය මණ්ඩුක නමින් හැදින්වේ. මේ පිළිබඳවද පුරාවෘතයක් පවතී. නැවත වරක් වන්දනා මාන කිරීමට පටන් ගත පසු වන්දනා කරුවකු අතින් මෙහි සිටි ගෙම්බෙකු පෑගී මියගොස් ඇත.ඉන්පසු වරින් වර විශාල ගෙම්බන් සංඛ්‍යාවක් මෙම ස්ථානයට පැමිණ ඇත.මෙය බහිරව දෝෂයක් ලෙස අනාවරණය වූ අතර ස්වර්ණ නම් බහිරවයාගේ වාහනය වූ ගෙම්බාගේ පිළිරුවක් මෙහි ගොඩ නංවන ලදී.මෙම දිය පොකුණ මැද දකින්නට ලැබෙන්න එම ගෙඹි රුවයි.






ආනන්ද මෛත්‍රිය හිමිගේ පිළිරුව ගොඩ නංවා ඇති ආකාරය











දැනට මෙම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් 50ක පමණ කුඩා සාමණේර  භික්ෂුන් වහන්සේලා සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන පිරිවෙනක් පවත්වාගෙන යනු ලැබේ.

බටතොට නැරඹීමට ගිය අපට රසවත් පුරාවෘත රැසක් අසන්නට ලැබුණි.ඒ පිළිබඳව අපව දැනුවත් කල රජමහ විහාරයේ ,කාර්යාලයේ සේවය කරන ජාලියගොඩ මහතාට  ස්තුතිවන්ත වෙමු.

මෙම ගමන සාර්ථක කර ගැනීමට දිරි දුන්, මගේ ලේඛන කටයුතු වලට නන් අයුරින් උපකාර කරන මෑණියන් වන  කතිකචරිනි කුමාරි තෙන්නකෝන් මහත්මියටත් , ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ජන මාධ්‍ය අංශයේ ශිෂ්‍යාවක් වන සඳමිණි  ඇලෝසියස් සොයුරියටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.




6 comments:

  1. බොහොම ස්තූතියි තොරතුරු වලට.

    ReplyDelete
  2. වැදගත් තොරතුරු ටිකක් මේ පෝසටුවෙන් දැනගන්න ලැබුණේ

    ReplyDelete
  3. වැදගත් තොරතුරු ටිකක් මේ පෝසටුවෙන් දැනගන්න ලැබුණේ

    ReplyDelete
  4. රසවත් සටහනක්. ස්තුතියි දැනුම බෙදාහදාගත්තට..

    ReplyDelete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........